දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම/ කලාපය (SAFTA)

saftaදකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම 2004 ජනවාරි මස 6 වන දින පකිස්ථානයේ ඉස්ලාමාබාද් හි දී SAARC සාමාජික රටවල අමාත්‍ය කමිටුව විසින් අත්සන් කරන ලදී. සාමාජික රටවල විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂඥ කමිටුව (COE) විසින් SAFTA සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරන ලදී.

1995 දී පිහිටුවා ගත් දකුණු ආසියානු වරණීය වෙළඳ ගිවිසුම පිහිටුවා ගැනීමත් සමඟ ආරම්භ වූ වරණීය වෙළඳාම ප්‍රවර්ධනය කිරීම තුලින් කලාපීය ආර්ථික ඒකීකරණය තව දුරටත් වර්ධනය කිරීම මෙමඟින් අපේක්ෂා කරයි.

15 වැනි සාර්ක් සමුළුව (2009 අගෝස්තු 2 - 3, කොළඹ ) අමාත්‍ය කමිටුව විසින් ප්‍රතිශෝධිත සංවේදී ලැයිස්තුව පෙරාතුව ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කොට නිර්දේශ කරන ලදී. ඒ අනුව සංවේදී ලැයිස්තුවේ ප්‍රමාණය අඩු කිරීම සඳහා තත්කාර්ය වැඩ කණ්ඩායමක් පිහිටු විය යුතු බවට නිර්දේශ කරන ලදී. මෙම වැඩ කණ්ඩායමේ පළමු රැස්වීම 2010 පෙබරවාරි මස 10 වන දින පවත්වන ලද අතර එහිදී සංවේදී ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බදු සීමා ගණනාවක යෝජනා ආකෘතීන් පිළිබඳ සාකච්ඡා කරන ලදී. සාමාජික රටවලට සිය ඉල්ලීම් ලැයිස්තුව ද්වීපාර්ශවිකව සකසා ලේකම් කාර්යාලය දැනුවත් කොට තබන ලෙස රැස්වීමේදී නියම විය. ඉල්ලීම් ලැබීමෙන් පසු, සාමාජික රටවල් විසින් ඔවුන්ගේ පළමු පිරිනැමුම් ලැයිස්තුව සියලුම සාර්ක් සාමාජික රටවල් වෙත සාර්ක් මහලේකම් කාර්යාලය හරහා ලබා දිය යුතුය. වැඩ කණ්ඩායමේ ඊලඟ රැස්වීම් වාරය විසින් මෙම ඉල්ලීම් සහ පිරිනැමුම් පිළිබඳ විස්තර ආදිය සකසා අවසන් කිරීමේ අරමුණින් යුතුව සාකච්ඡාවට බඳුන් කරනු ඇත.

සේවා වෙළඳාම පිළිබඳ සාර්ක් ගිවිසුම (SATIS) පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ 5 වන රැස්වීම් වාරය 2010 පෙබරවාරි මස 8 - 9 දිනයන් හි දී නේපාලයේ කත්මණ්ඩු නගරයේ පිහිටි සාර්ක් මහ ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. එහි දී,  සිව්වන රැස්වීමේ දී ප්‍රතිශෝධිත SATIS කෙටුම්පත සාකච්ඡා කොට අවසන් කරන ලද අතර ඊළඟ සාර්ක් සමුළුවෙහි දී සාමාජික රටවල නායකයින් විසින් අත්සන් තැබිය හැකි වන ලෙසට SATIS කෙටුම්පත සකස් කර සම්පූර්ණ කරන ලදී. ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු විශේෂිත බැඳීම් ලේඛන පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කළ යුතු බවට එම රැස්වීමේ දී තීරණය කරන ලදී. අවසන් SATIS කෙටුම්පත 2010 අප්‍රේල් මස 29 වන දින භූතාන් හි පැවති 16 වන සාර්ක් සමුළුවේ දී සාමාජික රටවල නායකයින් විසින් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකාව විසින් 2010 ජූනි මස 2 වන දින ගිවිසුම අනුමත කරන ලදී.

ආසියා - පැසිෆික් වෙළඳ ගිවිසුම (APTA)

පෙර බැංකොක් ගිවිසුම ලෙස හඳුන්වන ලද ආසියා - පැසිෆික් වෙළඳ ගිවිසුම 1975 දී අත්සන් තබන ලද අතර එය බංගලාදේශය, චීනය, ඉන්දියාව, ලාඕසය, කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් හයක සාමාජිකත්වයෙන් යුතු  ආසියාවේ පැරණිතම කලාපීය වරණීය වෙළඳ ගිවිසුම් අතුරින් එකකි.

ශ්‍රී ලංකාවට ප්‍රතිලාභදායී ප්‍රථිඵල ගෙන දෙන ඵලදායී කලාපීය ගිවිසුමක් ලෙස APTA හැඳින්විය හැක. එය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ චීනය හා කොරියානු ජනරජය සහිත වන එකම වෙළඳ ගිවිසුම මෙය වන බැවිනි.

2006 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කරන ලද තීරු බදු ලිහිල්කරණයේ තෙවන වටයෙන් පසු APTA යටතේ සිදු කරන ලද අපනයන වර්ධනය විය. 2009 දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනය, 2008 අගය වූ ඇ.ඩො.මි. 35.3 සමඟ සසඳන විට ඇ.ඩො.මි. 49.48 වන්නේ 40% ක වර්ධනයක් වාර්තා කරමිනි. APTA යටතේ චීනයට සිදු කරන ලද අපනයන 2009 වසරේ දී ඇ.ඩො.මි. 28.98 ක් වන්නේ 53% ක වර්ධනයක් සටහන් කරමිනි. කොහු බත් නිෂ්පාදන, තේ ස්වභාවික රබර්, රෙදිපිළි, මත්ස්‍ය නිෂ්පාදන, සක්‍රීය කාර්බන්, දැවමය ගෘහ භාණ්ඩ, රිදී ආභරණ සහ පෝසිලේන් APTA යටතේ ශ්‍රී ලංකාව සිදු කරන ප්‍රධාන අපනයනයන් වේ.

වෙළඳ සාකච්ඡාවන්ගේ සිව්වන වටය අවසානයේ දී තවදුරටත් සහන සකස් කරන ලද අතර 2007 ඔක්තෝබර් මස 26 වන දින ඉන්දියාවේ ගෝවා හි පැවති APTA අමාත්‍ය කමිටුවේ දෙවැනි සැසිවාරයේදී දියත් කරන ලදී. නිෂ්පාදන ආවරණය සහ තීරු බදු කපා හැරීම් තවදුරටත් පුළුල් කිරීමේ සහ තීරුබදු රහිත පියවරයන්, වෙළඳාම පහසුකරණය, සේවා සහ ආයෝජනය වැනි අංශයන් සඳහා ගිවිසුම විස්තාරණය කිරීමේ අරමුණින් යුතුව අමාත්‍යවරුන් විසින් මෙම වටය දියත් කරන ලදී. 2009 දෙසැම්බර් මස 15 වන දින කොරියාවේ සෝල් හි දී තෙවන අමාත්‍ය කමිටු රැස්වීම පවත්වන ලදී. එයට අමතරව වෙළඳාම පහසුකරණය හා ප්‍රවර්ධනය, ආයෝජන ආරක්ෂණය සහ නිදහස්කරණය යනුවෙන් රාමු ගිවිසුම් දෙකක් ද එහිදී අත්සන් කරන ලදී.