රජයේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය දැක්වීම පිණිස ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ නිපුණ රැකියා අවස්ථා තවදුරටත් ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් සමාලෝචනය කිරීමටත්, උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරන වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නිලධාරීන් සමඟ 2026 ජූලි 31 වන දින අන්තර්ජාලය ඔස්සේ (virtual) හමුවක් පවත්වන ලදී.

වාණිජමය වශයෙන් වැදගත් වෙළඳපොළවල් විසිතුනක (23) ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවය කරන වාණිජ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ සහ පුළුල් ආර්ථික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ කාර්යභාරය අතිශය වැදගත් බවයි. වෙළඳපොළ සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම හරහා මැනිය හැකි ප්‍රතිඵල ලබා දීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. තවද, 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා යාම ඇතුළු ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ (NEDP) ඉලක්කයන් සමඟ තම කටයුතු අනුගත කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 (Sri Lanka Expo 2027) ප්‍රදර්ශනය සඳහා වැඩි ජාත්‍යන්තර සහභාගීත්වයක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ නිපුණ විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෙළඳ සහ පර්යේෂණ) ගිල්මා දහනායක මහත්මිය, වැඩබලන වාණිජ අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ දූත මණ්ඩලවල සේවය කරන වාණිජ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙහිදී එක් එක් වාණිජ නිලධාරීන් විසින් තමන් අනුයුක්තව සේවය කරන රටවල වෙළඳාම, ආයෝජන, සංචාරක සහ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙතෙක් සිදු කරන ලද කාර්යයන් සහ වසරේ ඉතිරි කාලය සඳහා සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.

ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, හොඳම අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වාණිජ මැදිහත්වීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නිතිපතා කාර්යසාධන සමාලෝචන රැස්වීම් පැවැත්වීමට තීරණය කරමින් සාකච්ඡාව අවසන් විය.

Latest News

සියලුම පුවත් මෙතැනින්