1998 දෙසැම්බර් මස 28 වන දින අත්සන් තබන ලදුව 2000 මාර්තු 1 වන දින බලාත්මක කොට ක්‍රියාත්මක වූ ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් දෙරට අතර වෙළඳ හුවමාරු සිදු වෙන නිෂ්පාදන ගණනාවක් සඳහා තීරුබදු සහන ලබා දෙයි. ISFTA යටතේ ශ්‍රී ලංකාවේ තීරුබදු ලිහිල්කරණ අවසන් බැඳීම් ලේඛණය 2008 නොවැම්බර් මස සිට බලාත්මක වූ අතර එය සම්පූර්ණ කිරීමත් සමඟම 2000 බලාත්මක කොට ක්‍රියාත්මක කරන ලද ISFTA ගිවිසුම පරිපූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක විය. කෙසේ වුවත්, 2003 මාර්තු මස අග වන විට ඉන්දීය වෙළඳපොළ වෙත තීරුබදු රහිතව සම්පූර්ණයෙන් ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසුණි. ශ්‍රී ලංකාවේ සිටින ව්‍යාපාරිකයන් සඳහා තීරුබදු රහිත පදනමක් මත නිෂ්පාදන 4000ක ට වැඩි ප්‍රමාණයක් සඳහා ඉන්දීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව එමඟින් සැලසී ඇත.  

ඉන්දියාව වෙත සිදු කරන ශ්‍රී ලංකාවේ අපනයනයන් 2010 ජනවාරි සිට මැයි දක්වා කාලය තුල දී ඇ.ඩො.මි. 173 වුවත් එය 2011 එම කාල වකවානුව තුල දී ඇ.ඩො.මි 219 වන්නේ 26.6% ක වර්ධනයක් වාර්තා කරමිනි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2011 ජනවාරි සිට මාර්තු අතර කාලය තුල පරිවෘත කම්බි සහ කේබල් කට්ටල, බොතල් ශීතකරණ, ඛණිජතෙල් නිෂ්පාදන, තාක්ෂණිකව විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද ස්වභාවික රබර්, කිරිගරුඬ, ගෘහ භාණ්ඩ, MDF පුවරු, රෙදිපිළි සහ ඇඟළුම් උපාංග, වීදුරු නිෂ්පාදන, රබර් අත්මේස්, සාදික්කා, වසාවාසි ආදී නිෂ්පාදනයන්ගේ අපනයන 2010 එම කාලයට වඩා ඉහළ යාමයි. කෙසේ වෙතත් කරාඹුනැටි, ගම්මිරිස්, ස්වභාවික දුම් ගැසූ රබර්, තඹ කම්බි, සත්ත්ව ආහාර, පිරිපහදු කළ තඹ, නව වායව ටයර් ආදි වැනි ක්ෂේත්‍රයන්ගේ අපනයනය  2010 ජනවාරි සිට මැයි දක්වා කාලයට වඩා 2011 වසරේ එම කාලය තුල අඩු වීමක් දක්නට ලැබේ. මෙම නිෂ්පාදනයන්ගෙන් විශාල ප්‍රමාණයක් ISFTA යටතේ තීරු බදු රහිත පදනම මත අපනයන කරන ලද බව වැදගත් වේ. වාණිජ දෙපාර්තමේන්තුව විසින් ප්‍රභව ස්ථාන සහතිකපත් 4371 ක්  ISFTA යටතේ 2011 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ නිකුත් කර ඇති අතර 2010 එම කාලයේදී නිකුත් කරන ලද ප්‍රභවස්ථාන සහතිකපත් 4112 නිකුත් කරන ලදී. 

ISFTA ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය නිලධාරීන් සමඟ නිල නොලත් සාකච්ඡාවන් 2010 නොවැම්බර් මස නව දිල්ලියේ දී සහ 2010 දෙසැම්බර් මස කොළඹ දී පැවැත්විණි. එම සාකච්ඡා වාරය අතරතුරේ දී දෙරට අතර ISFTA ක්‍රියාත්මක කිරීමෙන් වසර දෙකක් ගතවී ඇති නිසා එය එහිදී ඇතිවන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙරට අතර ද්වීපාර්ශවීය මට්ටමේ සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළ යුතු බවට අවධාරණය විය. ISFTA යටතේ ඇතිවන සියලු ගැටලු සඳහා ගැටළු ඉදිරිපත් කළ සැනින්ම විසඳීම් ලබා දීම සඳහා දැඩි අවදානයක් යොමු කළ යුතු වීමේ වැදගත්කම දෙපාර්ශවය විසින්ම ප්‍රකාශ කරන ලදී.

ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාවය පිළිබඳ නව අවබෝධතා ගිවිසුම්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවීය ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගිතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් ඇති කරගනීමට කටයුතු කරමින් සිටී. දැනට පවතින ගිවිසුම දෙරට අතර භාණ්ඩ වෙළඳාම පිළිබඳ කටයුතු කරන විට නව ගිවිසුම මඟින් සේවා, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව පිළිබඳ අවධානය යොමු කරයි. 2008 ජූලි මස පැවති වෙළඳ ගිවිසුම් කමිටුවෙහි තෙවන වටයේ සාකච්ඡාවන්ට පසු මේ සඳහා නිල සාකච්ඡා වාරයක් පැවතුනේ නැත. 2005 වසරෙහි යෝජිත අවබෝධතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා දියත් කිරීමේ සිට දෙපාර්ශවය විසින් වාණිජ ලේකම් මට්ටමේ සාකච්ඡා වට 3 ක්  සහ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා වාර දහ තුනක්  පැවතිණි. මෙම සාකච්ඡා වට තුලින් භාණ්ඩ වෙළඳාම, සේවා, ආයෝජන සහ තාක්ෂණික සහයෝගිතා වෙළඳපොළ ප්‍රවේශ බැඳීම් පිළිබඳ දෙපාර්ශවයන් විසින්ම මනා අවබෝධයක් ලබා ගන්නා ලදී. 

එහෙත්, ගිවිසුම මඟින් ඉදිරියේදී ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳ විවිධ පාර්ශවයන් ඉදිරිපත් කළ කරුණු මත යෝජිත ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම 2008 වසරේ දී නවත්වන ලදී. ඒ අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වාණිජ මණ්ඩලයේ නියෝජිතයින්ගේ උපදේශන ලබා ගැනීම සඳහා රැස්වීම් මාලාවේ පළමු උපදේශාත්මක රැස්වීම 2010 ජූලි මස 27 වන දින පැවැත්විය. 2010 වසරේ අග බාගයේ දී  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ද්වීපාර්ශවීය සාකච්ඡාවන් හි දී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද නව ගිවිසුම් කෙටුම්පත මූලික කර ගනිමින් නිල සාකච්ඡාවන් ඇරඹිය යුතු බවට දෙපාර්ශවය විසින්ම තීරණය කරන ලදී. ඒ අනුව යෝජිත ගිවිසුම පිළිබඳ කරුණු විමසා බලා නව කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2011 පෙබරවාරි මස අන්තර් ආයතනික කමිටුවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පිහිටුවන ලදී. මේ වන විට අන්තර් ආයතනික කමිටුව විසින් ඉන්දීය රජයට ඉදිරිපත් කිරීම සඳහා ගිවිසුමේ නව කෙටුම්පත සකස් කරමින්  සිටියි.